ලොව විශාලතම මානව කෞතුක සම්පත් එකතුව ඇති, පැරීසියේ ලූව්ර (Louvre) කෞතුකාගාරයට හොරු පැන්න පුවත මේ සතිය ආරම්භයේ දී දෙස් විදෙස් මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය විය. සොරකම සිදුවූයේ පසුගිය 2025 ඔක්තෝබර් 19 වැනිදා ඉරිදා දිනයේ උදෑසනය. එය, මිනිත්තු හතක් තුළ දී සිදුවුණු ලොව වේගවත්ම සොරකම ලෙස ලෝක අවධානයට ලක්විය. එය ප්‍රංශ රාජකීය පවුලේ උරුමයක් වූ, මිල කළ නොහැකි කෞතුක ආභරණ රැසක් සොරා ගත් මිනිත්තු හතක් විය. මහ දවල් සිදු වූ මේ ‘මංකොල්ලයත්‘ සමඟ කෞතුකාගාරය වසා දැමුණේ ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් පමණක් නොව හමුදා ආරක්ෂාවක් ද ලබා දෙමිනි.

වසරක් පාසා ලොව වැඩිම නරඹන්නන් සංඛ්‍යාවක් ආකර්ෂණය කරන මේ කෞතුකාගාරය තුළ ඒ සොරකම සිදුවන මොහොතේ දීත් විශාල පිරිසක් කෞතුක වස්තු නරඹමින් සිටියහ. ඒ, ප්‍රංශයේ වේලාවෙන් උදෑසන 9.30ට පමණය.
සිදුවීම පියවරෙන් පියවර මෙසේය:
පෙ.ව. 9:30,: සොරු සීන් ගඟ දෙසින් කෞතුකාගාරය පරිශ්‍රයට ඇතුළු වෙති. ඔවුන් නඩත්තු සේවකයන් ලෙස වෙස්වළා ගෙන සිටිති.
පෙ.ව. 9:32,: සොරුන් දෙදෙනෙක් ඉහළ මාලේ ජනේල බැටරියෙන් ක්‍රියා කරන වීදුරු කපනයකින් කපා ගෙන ඇපලෝ ගැලරියට ඇතුළු වෙති. ලෝක ප්‍රකට මොනාලිසා චිත්‍රය තැන්පත් කර ඇත්තේ ඊට එහායින් වූ කාමරයකය.
පෙ.ව. 9:34,: එහි සිටි රැකවලුන් බිය ගන්වා පළවා හරිති.
පෙ.ව. 9:35,: සොරු ඊළඟට ක්ෂණිකව කරන්නේ රාජකීය කෞතුක වස්තු තැන්පත් කර තිබූ වීදුරු කූඩු දෙකක වීදුරු වීදුරු කපනයෙන් කපා ඒවායේ වූ වටිනා භාණ්ඩ අටක් එළියට ගනිති. ඒවා නැපෝලියන් අධිරාජයාගේ බිසව පාවිච්චි කළ ඒවාය. ඒවාට යොදා තිබූ ආරක්ෂක පද්ධතියේ නළාව වැඩ කරන්නේ නැත.
පෙ.ව. 9:37,: කෞතුකාගාරයේ අනතුරු ඇඟවීමේ පොදු නලාව නාද වෙයි. ඒ අනුව, ආරක්ෂක නිලධාරිහූ යුහුසුලුව ක්‍රියාත්මක වී නරඹන්නන් ආරක්ෂා සහිතව ප්‍රදර්ශනාගාරවලින් ඉවත් කරති.
පෙ.ව. 9:38,: සොරු ඉණි මග ඔස්සේ ආපසු පහළට බසිති. ඔවුන් තමන් ගෙනා ඉණි මඟ සහිත ජංගම රථයට ගිනි තබන්නට උත්සාහ කරන විට ම ආරක්ෂකයන් එහි එනු දකින සොරුන් එය අත්හැර දමා අසල වූ මෝටර් සයිකල් දෙකකින් ඒ6 මහා මාර්ගය ඔස්සේ ලියොන් නගරය දෙසට පලා යති. මෙසේ කලබලයෙන් පලා යද්දී ඔවුන් අත වූ සොරා ගත් ඔටුන්නක් බිම වැටී තිබී ආරක්ෂකයන්ට හමුවී ඇත. ඊට අලාභ හානි සිදු වී ඇත. දියමන්ති දහස් ගණනක් අල්ලා ඇති ඒ ඔටුන්න ඉයුජින් අධිරාජිනිය විසින් භාවිත කරන ලද්දකි.

සොරුන් විසින් ගෙන යන ලද භාණ්ඩ මෙසේය:
• තුන්වැනි නැපෝලියන් අධිරාජයාගේ බිසව වූ ඉයුජින් අධිරාජිනියගේ ඔටුන්නක් (මෙය පසුව අතර මග දමා ගොස් තිබී හමු විය.) හා හාරිච්චියක්.
• මාරී ලුයී අධිරාජිනියට අයත් මරා මැණිකක් ඇල්ලූ මාලයක් හා මරා මිණක් සවි කළ හාරිච්චියක්.
• මාරී එමලි රැජින හා හෝටෙන්ස් රැජින භාවිත කළ ඉඳුනිල් මිණක් ඇල්ලූ ඔටුන්නක්, මාලයක් හා තනි කරාබුවක්.
• හාරිච්චියක්.

එය ඉතා සැලැසුම් සහගතව කළ සොරකමක් බවත්, සොරුන් කලබල නොවී, සීරුවෙන් සොරකම සිදු කරන අයුරු ආරක්ෂක වීඩියෝ කැමරාවල සටහන් වී ඇති බවත් ප්‍රංශ සංස්කෘතික කටයුතු අමාත්‍යවරිය වන රෂීඩා දාති පසුව මාධ්‍ය හමුවේ පැවැසුවාය. මෙම සොරකමින්, කිසිවකුටවත් තුවාලයක් වූයේ නැත. එබැවින් මෙය, ප්‍රචණ්ඩත්වයකින් තොරව, ඉතා වෘත්තීය මට්ටමින් සිදු කළ සොරකමක් බවත්, පලපුරුදු සොරුන් පිරිසක් සොරකමට පැමිණි බව පැහැදිලි වන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවැසුවාය.

මේ වන විටත් කෞතුකාගාරයේ පිටත සහ ඒ අවට ගොඩනැගිලිවලත්, වීදිවලත් ඇති සීසීටීවී ආරක්ෂක කැමරා දසුන් පරීක්ෂා කරමින්, සොරුන් ගිය මාර්ගය හඳුනා ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් ප්‍රංශ පොලිසිය පැවැසීය.
සොරකම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සිය කනස්සල්ල පළ කළේ, මේ සංස්කෘතික ඝාතනය සිදු කළ අපරාධකරුවන් සහ ඔවුන් සොරා ගත් රාජකීය කෙෘතුක ආභරණ හැකි ඉක්මනින් යළි සොයා ගන්නා බව පවසමිනි.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නුනෙස් මාධ්‍ය හමුවේ කියා සිටියේ මිනිත්තු 7 ක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදුවුණු එම සොරකම ඉතාම සූක්ෂම එකක් බවය. ලූව්ර කෞතුකාගාරයේ බලධාරීන්ට අනුව, වටිනා ඔටුනු ආභරණ, මාල, කරාබු සහ පින් ඇතුළු ආභරණ අටක් සොරුන් විසින් රැගෙන යනු ලැබුණි.
මෙසේ සොරා ගෙන ඇති භාණ්ඩවල කෞතුක අගය කිසිසේත් මිල කළ නොහැකිය. තක්සේරු කළ මුල්‍යමය වටිනාකම ඩොලර් මිලියන 102කකි. එය ශ්‍රී ලංකා රුපියල්වලින් දළ වශයෙන් මිලියන 30,865ක් 30 බිලියන 86 කෝටි 50 ලක්ෂයක් පමණ වෙයි.
ලෝකයේ විශාලතම කලා කෞතුකාගාරය - ප්‍රංශයේ ලූව්ර
ලෝකයේ විශාලතම සහ සෑම වසරකම වැඩි ම නරඹන්නන් පිරිසක් නරඹන, වටිනාම කෞතුකාගාරය කුමක්දැයි කවුරුන් හෝ ඇසුවොත්, ඊට එකවර ම ලැබෙන පිළිතුර ප්‍රංශයේ පැරීස් අගනුවර ලූව්ර කලා කෞතුකාගාරයයි. මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබෙන භාණ්ඩ සහ කලා නිර්මාණවල කෞතුක වටිනාකම මෙතෙකැයි මිල කළ නොහැකිය. එපමණක් නොව, මෙම ලූව්ර කෞතුකාගාර ගොඩනැගිල්ල පවා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයකි. ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ උරුමයන් විදහා දක්වන කේන්ද්‍රස්ථානයක් ලෙස ලූව්ර කෞතුකාගාරය සැලකෙයි. ඊට හේතුව, මෙම කෞතුකාගාරයේ ඇති සෑම නිර්මාණයක්ම ලෝකයේ කලා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන ඒවා වීමය.
ලූව්ර කෞතුකාගාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ 12 වැනි සියවසේදීය. මෙම ගොඩනැගිල්ල මුලින්ම ඉදිකරන ලද්දේ දෙවැනි පිලිප් රජු විසිනි. ඒ පැරීසියට ආරක්ෂාව සැපයීම සඳහා වූ බලකොටුවක් ලෙසය. කාලයාගේ ඇවෑමෙන් මෙම බලකොටුව ප්‍රංශයේ රාජකීය නිවහනක් බවට පත් විය. 16 වන සියවසේදී පළමු වැනි ෆ්‍රැන්සිස් රජු විසින් මුල් බලකොටුව කඩා දමා එය තේජාන්විත පුනරුද මාලිගාවක් බවට පත් කළ අතර, ඔහු විසින් රැස් කළ පෞද්ගලික කලා එකතුවද මෙහි තැන්පත් කිරීම ආරම්භ කළේය. කෙසේ වෙතත්, දාහතර වැනි ලුවී රජු සිය රාජ සභාව වර්සායි මාලිගයට ගෙන ගිය පසු, ලුව්ර මාලිගය තවදුරටත් රාජකීය නිවහනක් ලෙස යොදා නොගන්නා ලදී.
ලූව්ර මාලිගය, කෞතුකාගාරයක් බවට පත්වීමේ තීරණාත්මක මොහොත උදා වූයේ ප්‍රංශ විප්ලවය අතරතුරදීය. 1793 වසරේ දී, ජාතියේ විශිෂ්ට කලා කෘති ප්‍රදර්ශනය කිරීම සඳහා ලූව්ර, පොදු කෞතුකාගාරයක් ලෙස විවෘත කරන ලදී. මෙලෙස එය රාජකීය නිධානයක් වූ තැනක සිට, මහජනයාට විවෘත වූ කලාගාරයක් දක්වා පරිණාමය විය. 1980 දී එවකට ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සුවා මිතරෝන්ගේ සංකල්පයකට අනුව, ලූව්ර කෞතුකාගාරය නවීකරණය සිදුවිය. ඊට වීදුරුවලින් පිරමීඩයක් ද එක් කෙරුණි. මෙම පිරමීඩය ඉදි කිරීම කරනු ලැබුවේ චීන-ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පී අයි.එම්. පේයි විසිනි. ඔහු ඓතිහාසික මෙන්ම සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට ගරු කරමින්, එයට හානියක් නොවන අයුරින් නූතන කලා නිර්මාණයක් ලෙස වීදුරු පිරමීඩය නිර්මාණය කළේය.
ලොව විශාලතම කෞතුකාගාරය ලෙස ද සැලකෙන ලූව්ර කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශන එකතුව අති විශාල වන අතර, එය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 19 වැනි සියවස තෙක් ලෝක මානවයාගේ විඔිෂ්ට නිර්මාණශීලීත්වය විදහාපායි. මෙහි ප්‍රදර්ශනයට තබා ඇති කලා කෘති ගණන 35,000 කට වැඩිය. සම්පූර්ණ ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රමාණයේ සම්පූර්ණ එකතුව 600,000 කට වඩා වැඩිය. මෙම එකතුවට ඊජිප්තු පුරාවස්තු, ග්‍රීක රෝමානු පුරාවස්තු, ඉස්ලාමීය කලාව, මූර්ති, සහ සිතුවම් අයත් වෙයි.
ඓතිහාසික මොනාලීසා චිත්‍රය නරඹන පිරිස්.
ලූව්ර කෞතුකාගාරයේ ඇති වඩාත් වැදගත්, වටිනාම කලා නිර්මාණය වන්නේ මොනාලීසාගේ චිත්‍රයයි. එය ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චිගේ විශිෂ්ටතම කලා නිර්මාණය ලෙස සැලකෙයි. 1911 දී, කෞතුකාගාරයේ සේවය කළ ඉතාලි ජාතිකයෙක් මේ මොනාලීසා චිත්‍රය සොරකම් කළේය. ඒ කාලයේ මොනාලීසා චිත්‍රය ජනතාව අතරේ ප්‍රසිද්ධියට පත්ව තිබුණේ නැත. එය ගැලරි බිත්තියක එල්ලා ප්‍රදර්ශනයට තබා තිබුණු අතර, ඉතාලි ජාතික සේවකයා එය ඔහුගේ කබායේ සඟවාගෙන රැගෙන ගොස් තිබුණි. වසර දෙකකට පසු සිතුවම සොයා ගත් අතර, තමන් එය සොරකම් කළේ එය ඉතාලියට අයත් කලාකෘතියක් නිසා යැයි සොරා පැවැසීය. අද මොනලිසා සිතුවම කිසිම සොරකුට සොරකම් කිරීමට නොහැකි ලෙස ඉතා දැඩි රැකවල් ඇතිව වීදුරු කුටියක් තුළ ප්‍රදර්ශනයට තබා ඇත.
1998 දී, කැමිල් කොරොට් නම් චිත්‍ර ශිල්පියාගේ 'ලෙ චෙමින් දෙ සෙවේස්' නමැති 19 වැනි සියවසේ ඇදි සිතුවම සොරකම් කෙරුණි. මෙම සොරකමින් පසු කෞතුකාගාරයේ ආරක්ෂක විධිවිධාන විශාල වශයෙන් ප්‍රතිසංස්කරණය කෙරුණි. ලූව්ර කෞතුකාගාරය හුදෙක් කලා භාණ්ඩ තැන්පත් කරන ස්ථානයක් නොවෙයි. එය කලාව, ඉතිහාසය සහ ප්‍රංශ ජාතික අනන්‍යතාවේ සංකේතය වේ.
- ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි
0 Comments